ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 222ක් සහ සෙසු නිලධාරීන් 3548ක් මීළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, කොමදෝරු නිලය දක්වා නිලධාරීන් දෙදෙනෙක්ද (02), ලුතිනන් කොමාණ්ඩර් නිලය දක්වා නිලධාරීන් පනස් හයදෙනෙක්ද (56), ලුතිනන් නිලය දක්වා නිලධාරීන් පනස් අට දෙනෙක්ද (58), උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් හැට හත් දෙනෙක්ද (67), වැඩ බලන උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් හත් දෙනෙක් (07) සහ මධ්‍ය නිලධාරි දක්වා නිලධාරීන් තිස් දෙදෙනෙක්ද (32) වශයෙන් නිලධාරීන් 222 ක් ඊළඟ නිලය දක්වා උසස් කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත මෙම උසස්වීම් සිදුකර ඇත.

අද දින (09) අභිමානවත් 72 වන සංවත්සරය සමරන ශ්‍රී නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. දෙවන ලෝක යුද්ධයක පෙර ලකුණු පහළවීමත් සමඟ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රතිපත්තීමය තීරණයකට අනුව, 1937 අංක 01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආඥා පනත මඟින් ප්‍රථම වරට ස්ථාපිත වූ ‘ලංකා ස්වේච්ඡා නාවික හමුදාව’, 1943 ඔක්තෝබර් මස 01 දින 'රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවය' බවට පත්විය.

1948 පෙබරවාරි මස 04 වන දින මෙරටට නිදහස ලැබීමෙන් අනතුරුව, 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මඟින්, 1950 දෙසැම්බර් මස 09 වන දින 'රාජකීය ලංකා නාවික හමුදාව' ස්ථාපිත කිරීමත් සමඟ මෙරට ස්ථිර නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. එතැන් සිට මෙරට සාගරික වපසරියේ ආරක්‍ෂකයා ලෙස සුවිශේෂී වගකීමක් රාජකීය ලංකා නාවික හමුදාවට පැවරිණි. දිනෙන් දින වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත් විය.