පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය දිවයින පුරා යූරියා හා MOP පොහොර බෙදා හැරීමේ කටයුතුවලට බලපෑම් එල්ල කළ බව රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම්වල සභාපතිවරු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට පොහොර ලබා ගැනීමේ ගැටළුකාරී තත්ත්වයක් වාර්තා වීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සභාපතිවරුන්ගෙන් කරුණු විමසීමක් කළේය. වැසි සහිත හා සීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් පොහොර ‍බෙදා හැරීම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බවත්, අද(14) සිට නැවතත් පොහොර බෙදා හැරීම් කටයුතු ආරම්භ කළ බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පොහොර බෙදාහැරීම තාවකාලිකව නැවැත්වුව ද අවශ්‍ය තරම් පොහොර තොග ගබඩා තුළ පවතින බව සභාපතිවරු අවධාරණය කළහ.

මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් මෙම මස 20 දින කොළඹ වරායට පැමිණීමට නියමිතය. එම පොහොර තොගය වියට්නාමයේ සිට ආනයනය කෙරෙන බව සභාපතිවරු පැවසූහ.