පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිට පහරදීමට එරෙහිව එළඹෙන 13 වනදා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීරණය කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් අතරතුර පහරදීමකින් තුවාල ලැබු එහි හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා රෝහල් ගතකර තිබුණි.

පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයා සහ සිසුන් පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම එම සිදුවීමට හේතුවී ඇති බවය.

පේරාදෙණිය විශ්වවිදයාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවස පිහිටා ඇත්තේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළය.

ඊයේ රාත්‍රී 10ට පමණ මහාචාර්යවරයාගේ නිවස අසල නවතා තිබූ යතුරු පැදියක් සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා සහ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර මතගැටුමක් ඇති වී තිබුණි.

පහරදීම සිදුව ඇත්තේ එය දුරදිග යාමෙන් පසුවය.

සිසුන් 300කගේ පමණ පිරිසක් තමන්ට සහ පුත්‍රයාට පහරදුන් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පේරාදේණිය පොලීසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන්ය.

සිසුන් පහරදීම සිදුකරන ආකාරය සහ තවත් පිරිසක් නිවසේ පිටුපස දොර කඩා නිවසට ඇතුළුවීමට උත්සහා දරන අයුරු නිවසේ CCTV කැමරාවලද සටහන් වී තිබුණි.

පහරදීමෙන් තුවාල ලැබු මහාචාර්යවරයා සහ පුත්‍රයා පේරාදෙණිය සහ මහනුවර රෝහල් වෙත ඇතුළත්ව ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණ තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෝටර් රථයක් හා යතුරුපැදි 2ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවය.