මෑතකාලීන ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය පූර්ණ දේශපාලන අර්බුදයක් සහ මානුෂීය හදිසි අවස්ථාවක් බවට පත්විය. 

බාහිර හා අභ්‍යන්තර හේතු නිසා ආර්ථික අර්බුදයකට මැදිව සිටි ශ්‍රී ලාංකිකයන්ට ආනයන සීමා, ඉන්ධන සහ විදුලි හිඟය, සංචාරක ව්‍යාපාරයෙන් විදේශ මුදල් සංචිත අඩුවීම, මේ වසරේ ගෙවිය යුතු විදේශ ණය අත්හිටුවීම සහ ඉහළ යන උද්ධමන අනුපාත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය. ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටවල් දැඩි මූල්‍යකරණ කොන්දේසිවලට ගොදුරු වීමේ අවදානමකට ද මුහුණ දෙයි.මේ සම්බන්ධයෙන් නව ලිබරල් ප්‍රතිපත්ති ද දිවයිනේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට බලපා ඇත. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම සඳහා නව්‍ය අරමුදල් යාන්ත්‍රණයන් අනුගමනය කළ යුතු අතර බාහිර ණය ගැනීමේදී දූපත්වාසීන්ගේ ක්ෂණික අවශ්‍යතා හඳුනා ගත යුතුය. 

අඩු සහ ස්ථාවර උද්ධමනය ඉලක්ක කරගත් හොඳ රාජ්‍ය මූල්‍ය සහ මුදල් අයවැය ප්‍රතිපත්ති සැකසීම්, දිගුකාලීන වර්ධනය සඳහා හිතකර වේ. බාහිර අසමතුලිතතාවයන් අඩු කිරීමට, විනිමය අනුපාතිකය සමඟ ගැළපීම සහතික කිරීමට සහ සංචිත ගොඩනැඟීමට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අවශ්‍ය විය හැකිය. තිරසාර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඇති කර ගැනීම සඳහා සහ බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම සඳහා ශක්තිමත් මූල්‍ය රාමුවක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ. අනාගතයේ දී වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ ආර්ථික පද්ධති ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටවල ආර්ථික ස්ථාවරත්වය මහා බලවතුන්ට සාපේක්ෂව දුර්වලය. නව යථාර්ථවාදයේ (New realism) දෘෂ්ටිකෝණයෙන්, බලන විට වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මහා බලවතුන් සහ කුඩා දූපත් රාජ්‍යයන් අතර සම්පත්වල විශාල බල විෂමතාවයි. ශ්‍රී ලංකාව සිය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා අසල්වැසි පළමු ප්‍රතිපත්තියට අනුකූලව ප්‍රතිචාර දැක්වූ පළමු රට ඉන්දියාව විය. මීට අමතරව නව ලිබරල්වාදය දශක හතරක පමණ කාලයක් දිවයිනේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට බහු පාර්ශ්වික සංවිධාන හරහා සහාය ලබා දී ඇත.

ඉහළ යන උද්ධමනය, ආහාර සහ ඉන්ධන හිඟය මගින් සනිටුහන් වූ මෙම වසරේ වැඩි කාලයක් ශ්‍රී ලංකාව ලෝකයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇත. මෑත මාසවලදී උද්ධමනය සියයට 54.6 ක වාර්තාගත ඉහළ අගයක් ගත් අතර ආහාර උද්ධමනය සියයට 81 දක්වා ඉහළ ගියේය. (UN 2022) මීට අමතරව, බදු කප්පාදු හේතුවෙන් වාර්ෂික මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ඉක්මවා ගියේය. තවද තීරණාත්මක ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය සංචිත හිඟ විය. මෙම හේතුව නිසා විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට සිදු විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහ ණයහිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සාකච්ඡා කිරීම ආරම්භ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාව සමඟ එ. ජ. ඩොලර් බිලියන 2.9 ක පමණ විස්තීරණ ණය පහසුකම් පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

දැන් සහ අනාගතයේදී පවා ශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම දිවයිනට වඩ වඩාත් තෙල්, ගෑස් සහ ගල්අඟුරු මත යැපීමට හේතු වනු ඇත. තෙල් හා ගෑස් රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල සැලකිය යුතු කරුණක් බවට පත්ව ඇත. එබැවින් ශ්‍රී ලංකාවට බලශක්ති

රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉතා වැදගත්ය. 2019 වසරේ පමණක් තෙල් ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6 ක් පමණ වැයකර ඇත. මෙම සන්දර්භයේදී ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට නම් අසල්වැසි රටවල් සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ ඇති අන්තර් යැපීම් මත පදනම් විදේශ ප්‍රතිපත්ති සමතුලිත කිරීම සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම ලංකාවේ සමෘද්ධිය සඳහා බොහෝසෙයින් උපකාරී වනු ඇත. තිරසාර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඇතිකර ගැනීම සඳහා සහ බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම සඳහා ශක්තිමත් මූල්‍ය රාමුවක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ. මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ මුදල් ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම ප්‍රමුඛතා ලෙස පැවතිය යුතුය.

90 දශකයේ අග භාගයේ ගුජ්රාල් මූලධර්මයේ සිට වර්තමාන අසල්වැසි පළමු ප්‍රතිපත්තිය දක්වා බලයට බැඳී සහ විශ්වාසය ගොඩනැඟීමේ අසල්වැසි උපාය මාර්ගයේ සිට, ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකත්වය ප්‍රමුඛතාවයක් ලෙස වටහා ගැනීම දක්වා ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතා සෙමින් වර්ධනය වෙමින් පවතී. 2014 දී, ප්‍රධාන උපාය මාර්ග අවශ්‍යතාවලින් එකක් වූයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අසල්වැසි සබඳතාවයක් පිහිටුවීමෙහිලා සැලකිය යුතු බලපෑමක් ඇති කළ ඉන්දියාවේ අසල්වැසි පළමු විදේශ ප්‍රතිපත්තියයි. වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා, ඉන්දියාව මේ වසරේ ශ්‍රී ලංකාවට විදේශ ආධාරවල ප්‍රධාන මූලාශ්‍රය වී ඇති අතර, පෙර නොවූ විරූ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 3.8කට වැඩි සහයෝගයක් ලබා දී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර දූපත් ඔවුන්ගේ භූගෝලීය පිහිටීම නිසා අංශ කිහිපයකින් ප්‍රතිලාභ ලබා ගනී. ආර්ථිකය ස්ථාවර කිරීම යනු ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටවල් සඳහා හිතකර දේශපාලන තත්ත්වයන් නිර්මාණය කිරීමයි. අඩු සහ ස්ථාවර උද්ධමනය ඉලක්ක කරගත් හොඳ රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති සැකසීම් දිගුකාලීන වර්ධනයට හිතකර වේ. සමෘද්ධිමත් සහ ස්වෛරී රටක් ඇති කර ගැනීමට නම් ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම, බලශක්ති සුරක්ෂිතතාවය, විදේශ සබඳතාවල ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය, මහා බලවතුන් සමඟ මධ්‍යස්ථව හා නොබැඳී සිටීම සුදුසුය.

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු
ස්තුතියි: divaina