අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට(11) සිදු කෙරේ.

නුවන් ගුණවර්ධන මහතාගේ දේහය මේවන විට නො. 92, නාලන්දාරාම පාර, පතිරගොඩ, මහරගම යන ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

ගොඩිගමුව පොදු සුසාන භූමියේදි සවස 6.00 ට ආදාහන කටයුතු සිදු කෙරෙනු ඇත.

ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියෙක් වන නුවන් ගුණවර්ධනයන් පසුගිය බ්‍රහස්පතින්දා සිය ජීවන ගමන නිමා කළේය.

හින්දි ගීත ගායනයට අතිශය දස්කම් දක්වන නුවන් "කඳුළින්ම ගැයූ පෙම් ගීතේ..........." ගීතයෙන් ශ්‍රාවක ප්‍රසාදයට පත්වූවේය. "ඇර සොයිසා" චිත්‍රපටය සඳහා ඇන්ටන් ජෝන්ස් සහ ප්‍රෙඩී සිල්වා සමගින් සමූහ ගීතයක් ගයා සිනමා පසුබිම් ගායනයට පිවිසි නුවන් "අභියෝගය" චිත්‍රපටය සඳහා ගැයූ "කිරි මුහුදු වෙරළේ........." ගීතය තුළින් ඔහු සිනමා පසුබිම් ගීතය තුළ ස්ථාවර ජනප්‍රියත්වයක් ලැබුවේය.

ඇන්ජලින් ගුණතිලක සමගින් "සෙනෙහසේ තාරකා.........." ගීතය සහ ලතා වල්පොල සමගින් ගැයූ "සකුන්තලාදෝ පුරාණයෙන් උපන්නේ........" ගීතය ද සිනමාව මත නුවන්ගේ ස්වර සටහන් තැබීමට සමත් විය. චිත්‍රපට ගණනාවකට ගීත රාශියක් ගැයූ නුවන්ගේ පුතු ගයාන් ගුණවර්ධන ද මේ වන විට ගැයුමෙන්, සංගීත නිර්මාණයෙන්, නිවේදනයෙන් සහ රංගනයෙන් සිය දස්කම් දක්වන්නේය.

නුවන් සහ ඔහුගේ පුත් ගයාන් පසුගිය වසරක ඉදිරිපත් කළ "තාත්තයි පුතයි" ප්‍රසංගය ද අතිශය ජනප්‍රිය විය. මියෙන තෙක්ම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගී තරුවක් වන ඔහු, වේදිකාවේ ගයන "පාවී ගියාවේ ළඳේ මා ඔබේ............" ගීතය ද අතිශය ජනාදරයට පත් ගීයකි.