කැරලිකරුවෝ ගුවන්තොටුපොළ අල්ලා ගනිති

දූෂණ වංචා චෝදනා ලබා දෝෂාභියෝගයෙන් පරාජයට පත්ව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති පෙඩ්රෝ කැස්ටිලෝ වහා නිදහස් කරන ලෙස බල කරමින් සහ ඩීනා බොලරේට් ජනපතිධුරයෙන් ඉවත්ව සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙසත් ඉල්ලමින් පේරූ දේශයේ ආරම්භ වූ විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විරෝධතාකරුවන් ඊයේ එරට දෙවැනි වැදගත්ම නගරය වන අරිකුයිපා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ අල්ලාගෙන ඇති අතර, ගුවන්තොටුපොළට පිවිසෙන මාර්ගය ද වසා දමා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් 50කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් සියලු ගුවන්ගමන් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවී ඇත. රජය නිසි විසඳුම් නොදෙන්නේ නම් හෙට (15) ජාතික වැඩවර්ජනයකට යන බවටද අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පේරූ දේශයේ නගර ගණනාවක මේ වන විට රජයට එරෙහිව විරෝධතා පැවැත්වෙන අතර, පොලිසිය සහ ආරක්ෂක අංශ සමඟ ගැටුම් පවතින බව ද වාර්තා වේ.
ගුවන්තොටුපොළ අත්පත් කරගැනීමේදී විරෝධතාකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇති අතර, තම සාමාජිකයකු අත්අඩංගුවට පත්වන සෑම අවස්ථාවකදීම පොලිස් නිලධාරියකු ප්‍රාණ ඇපයට ගැනීමට විරෝධතාකරුවන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.