ඉන්දීය රජය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව යන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ලබාදී තිබුණත් රජයේ දෙපාර්තමේන්තු ඖෂධ මිලදී ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා සිය කනගාටුව පළ කළේය.

කෙසේ වෙතත්, එම ණය පහසුකම් යටතේ පෞද්ගලික අංශයට ලබා දී ඇති කෝටාව නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ බටහිර ඖෂධ සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුව පසුගියදා (05) රැස්වූ අවස්ථාවේදීය.

රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් පවතින බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීහු මෙහිදී පැවසූහ. එසේම දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් මිලියන 6ක් වාර්ෂිකව වැය වන බවද ඔවුහු ප්‍රකාශ කළහ. මෙම ආනයනය නතර කර අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමට ගන්නා උත්සාහයන් දිරිමත් කළ යුතු බව මෙහිදී කමිටුව පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ඖෂධ සැපයුම් අංශය සඳහන් කළේ ඉන්දියානු ණය ආධාර ව්‍යාපෘතිය (Indian Credit Line) යටතේ වාර්ෂිකව ඇනවුම් කළ යුතු අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසය වන විට ඇනවුම් කර ඇති බවත්, එම ව්‍යාපෘතියේ ස්වභාවය අනුව ඖෂධ ලැබීමේ යම් ප්‍රමාදයක් පවතින බවත් ය. ජාත්‍යන්තර ආධාරවලට අමතරව මහා භාණ්ඩාගාරය වෙතින්ද රුපියල් සහ ඩොලර් මූල්‍ය ප්‍රතිපාදන ඖෂධ මිල දී ගැනීම සඳහා ලබාදෙන බව ද භාණ්ඩාගාර නිලධාරීහු මෙහිදී පැවසූහ.

බටහිර ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම සම්බන්ධ කාරණයේ දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ගෙවීම් සිදු කර පෞද්ගලික අංශයට අවශ්‍ය ඖෂධ සැපයීමේ හැකියාවක් පවතී නම්, රටට යම් ඩොලර් ප්‍රමාණයක් ඉතිරිවන බවට වන යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය.

දේශීය සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ශාකමය අමුද්‍රව්‍ය 130 ක් දැනට ඉන්දියාව සහ චීනය වැනි රටවලින් ආනයනය කරන බවත් ඉන් ශාක 50 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වගා නොකරන බවත් ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේය. ඉතිරි ඖෂධීය ශාක 80 වගා කිරීම සඳහා ඉඩම් ගැටලු සහ වෙනත් හේතු මත බාධාවක් වී ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ. නමුත් විද්වත් කමිටුවක් මගින් සකසන ලද ආයුර්වේද සහ දේශීය වෙදකම සඳහා භාවිතා කළ හැකි ශාකමය අමුද්‍රව්‍ය සම්බන්ධ ප්‍රතිනිධි ලැයිස්තුව අනුව පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍ය 130 අතරින් තවත් 40-50 ක පමණ ප්‍රතිනිධි ගණයට ඇතුලත් වන බැවින් එම ශාක 130 න් වැඩි ප්‍රමාණයක් මෙරට වගා කිරීමේ හැකියාව පවතින බවට විශ්වාස කළ හැකි බව කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ලංකාවේ පවතින ශාකමය ඖෂධ එකතු කරගැනිමේ ගැටළුවක් පවතින අතර, ඊට හේතු ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තු නියෝජිතයන් පෙන්වා දුන්නේ වන සං‍රක්ෂණ නීති යනාදිය මගින් ශාක වැවීම සහ එකතු කිරීම සම්බන්ධයෙන් බාධා ඇතිවන බවය. මෙහිදී කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව සමග ආයුර්වේද දෙපාර්තමේන්තුව සාකච්ඡා කොට යම් බලපත්‍ර ක්‍රමයක් ඔස්සේ ඖෂධ ශාක වගා කිරීමේ හැකියාවක් පවතින බවය. එමෙන්ම අඩවි වන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඖෂධ එකතු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන්ට හෙතෙම උපදෙස් දුන්නේය.

ආර්ථික ස්ථායීකරණ කමිටු සභාපති, පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේ දැනට ඖෂධ මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින්, විශ්‍රාමිකයන් වැඩිහිටියන් සම්බන්ධයෙන් විශාල සැළකිල්ලක් දැක්විය යුතු බවය. ඔහු පෙන්වා දෙන්නේ එසේ නොවුනහොත් කොරෝනාවට වඩා හානියක් ඉදිරියේ දී සිදුවිය හැකි බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ඒ. එල්. එම්. අතාවුල්ලා, එම්. රාමේෂ්වරන්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජිතයින්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, බටහිර ඖෂධ සමාගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.