අනවශ්‍ය ගමන් නොයන්නැයි වෛද්‍ය උපදෙස්

ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ නගරය වන මුම්බායි නුවර වායු දූෂණය පසුගිය දින කිහිපය තුළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය සදහන් කළේය. දෙසැම්බර් සීත ඍතුවේ සාමාන්‍යයෙන් මෙවැනි ආකාරයේ වායු දූෂණයක් වාර්ෂිකව සිදු වන්නේ නවදිල්ලි අගනුවර බවත්, මෙවර මුම්බායි නුවරින් එවැනි තත්ත්වයක් වාර්තා වීම පිළිබඳ එරට වැඩි අවධානයක් යොමුවී තිබේ.

සාමාන්‍යයෙන් වාතය තුළ පැවැතිය යුතු උපරිම අහිතකර අංශු ප්‍රමාණය 50ක් මේ වනවිට මුම්බායි නුවර වර්ධනය වී ඇති අංශු ප්‍රමාණය 300 ඉක්මවා ඇතැයි ද වාර්තා වේ. නවදිල්ලි නුවර වාතයේ ඇති අංශු ප්‍රමාණය 400ට වැඩි බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අක්‍රමවත් ගොඩනැඟිලි ඉදිකිරීම් වැඩි වීම, පරිසරයට හානි කරන කාලගුණ විපර්යාස සහ අධික ලෙස සිදුවන වාහනවල කාබන් විමෝචනය ඊට හේතුව බව එරට වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. මේ වනවිට මුම්බායි නුවර රෝහල් කරා පැමිණෙන හුස්ම ගැනීමේ අපහසු ඇති රෝගීන් ප්‍රමාණය ද වැඩි වී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් මුඛ ආවරණ නැතිව එළිමහනට නොයන ලෙසත්, අත්‍යවශ්‍ය නොවන ගමන් අවම කරන ලෙසත් වෛද්‍යවරු මහජනතාවට දැනුම්දීමක් සිදුකර ඇත.

සුප්‍රකට වෛද්‍ය සගරාවක් වන ලැන්සේට් වාර්තාවකට අනුව 2019 වසරේදී ඉන්දියාවේ නොමේරූ මරණ මිලියන 2.3ක් සිදුවී ඇත්තේ වායු දූෂණය හේතුවෙනි.